ඉනියවන් – ඉනික්බිතිව ඔහු cover image

ඉනියවන් – ඉනික්බිතිව ඔහු


Subodha Charles February 6, 2013

Blog art

හඳගම නැවත පැමිණ ඇත. අක්ෂරයේ අළු ගසා දමා හඳයා පැමිණෙන තුරු අපි බලා සිටියෙමු. මීට මාස කිහිපයකට පෙර ඉනියවන් ගැන කනට වැටුණු මොහොතේ සිට එය දැකීමට අසාවෙන් පසු වුනෙමු. යන්තම් jobless දවසක් සොයගෙන හෝල් එක තුළට වැදී වැඩි හොඳට කියා බැල්කනියටම ගිය අපට සිතුනේ කපල් එකකට නම් බොක්ස් නැතුව නිකම්ම බැල්කනියේ උනත් ඉන්න පුළුවන් කියාය. අපි 3 දෙනෙක් ආපු නිසා හිටපු දෙන්නාට ඒ chance එක නම් නැති විය. “සතියෙ දවසක තුනයි තිහේ show එකට කට්ටිය කොහොමත් අඩුයි නෙ”.

චිත්‍රපටය අවසානයේ මට අයිත්මාතව් මතක් විය. ඉනියවන් ගුරු ගීතයකි. සම්භාව්‍ය යනු සංකීර්ණත්වයම නොවේ. මෙලෝ එකෙක්ට නොතේරෙන චිත්‍රපටයක් කර එය සම්භාව්‍ය නිසා ගොඩක් අයට තේරෙන් නෑ වැනි ලේබල් ඇලවීම බොහෝ දෙනෙක් කරන්නේ තමන් චාටර් බව සැගවීමටය. ගුරු ගීතය අකුරු කියවීමට දත් ඕනෑම පොඩි එකෙක්ට තේරුම් ගත හැක. නමුත් දස වතාවක් කියෙව්වද නැවතත් අළුත් නොවන දෙයක් එහි සොයා ගැනීම අපහසුය. ඉනියවන්ද එසේමැයි මට සිතුනි. සිදුවීම් දාමයක් පෙන්වා චිත්‍රපටය අවසන් වෙයි. ඉනික්බිතිව ඔහු…

යුද්ධය – උණුසුම් සහ සිසිල්. හරියට ප්‍රේම සම්බන්ධතා වගෙයි. ඒවා නිකම්ම අවසන් වන්නේ නැහැ. ඒවා මියැදෙන්නේ කෙඳිරිගාමින්. සමහරවිට අළුත් වෙමින්. ගැටුමකින් බැට කෑ මිනිසුන් තම වර්තමාන තත්වය සහ අභිලාෂයන් මනින්නට ඒ වේදනාකාරී හෝ උද්වේගකර අත්දැකීම් පාවිච්චි කරන තාක්කල් පශ්චාත් යුධ අවධිය පවතිනවා. පහුවදා පාන්දර හැමදාමත් උභතෝතෝටිකයකට මග පාදනව. මොකද්ද මේ දැන් සිදුවුනේ? කවුද ඒකෙන් වාසියක් ලැබුවේ? අද දිනය, පහුවදා පාන්දර සිට වැඩෙන අද දිනය අලුත් නැවුම් දිනයක් කියන කාරණාව හැම විටම පැහැදිලි නැහැ. (සින්තියා එලෝනේ : 1993)දශක 3කට ආසන්න යුද්ධයයකින් පසු යුධ සාහිත්‍යක් බිහි වීම අනිවාර්ය අංගයකි. රුසියානු සාහිත්‍යය මෙතරම් ප්‍රබල වූයේද යුධ සාහිත්‍ය හේතුවෙනි.“Pianist”, “Schindler’s List”, “Saving Private Ryan” වැනි කාව්‍ය බිහි වූයේද එනිසාය. ඔව්. ඒවා චිත්‍රපට නොව. මහා කාව්‍යය. Pianist හි Captain Wilhelm Hosenfeld, Schindler’s List හි Oskar Schindler, Saving Private Ryan හි Captain Miller අපට මානව දයාව කියා දුන්නේය. නරඹන්නා සලිත කළ හැකි විභවයක් එම නිර්මාණ තුළ විය. යුද්ධයෙන් පසු ලංකාවේ ඉනියවන්ට පෙර ඇතිවූ නිර්මාණ එක්කෝ යුද්ධයෙන් චූන් වූවෙකුගේය. නැත්තං “you know who”ට කඩේ යන්නෙකුගේය. ඒවා හුදෙක් යුධ වින්දන සිනමාවය. කුමන අර්ථයෙන් ගත්තද පශ්චාත් යුධ සමයේ ඇතිවූ විශිෂ්ඨතම යුධ සිනමා කෘතිය ඉනියවන්ය.

ඇයි පහුවදා පානදර කෙරෙහි අවධානය යොමු කරන්නේ? එක් එක් සටන්කාමියා හෝ සිවිල් වැසියා හෝ මගතොට යමින් සිටි අහිංසකයා හෝ මිය ගියත් ජීවතුන් අතර රැඳුණත් විෂයයා හැම විටම ඉතිරිව සිටී. ඇත්තෙන්ම ගැටුමට පසුව ජීවත්වන මේ අයට ගැටුමේ ප්‍රචණ්ඩත්වයට වඩා පශ්චාත් යුධ තත්වය වඩාත් ගැටුම් සහගත යයි සැලකිය හැක. ගැටුමේ කතිකාවන්ට හා ක්‍රියාවන්ට නිශ්චිත වූ අරමුණක් තිබුණි. ඒ නිසාම ඒවා හිත සනසනසුළු ආකාරයකට සරල විය. (භුමිය ඉලක්කකොට ගෙන ශරීරවලට එරෙහිව පැහැදිලි හා තාර්කික අරමුණු සහිතව) එහෙත් පශ්චාත් යුධ කතිකාවන් වඩාත් සංකීර්ණ වන්නේ හදවත් සහ සිත් සඳහා කරන අරගලය වඩාත් දෝලනයවන සුළු නිසාය. (Christine Demaria and Collin Wright : In the introduction to Post Conflict Cultures : Rituals of Representation : London, Zoilus Press; 2006)

යුද්ධය නිසා ඇතිවූ සමාජ ධ්‍රැවීකරණය හමුවේ පශ්චාත් නන්දිකඩාල් මිනිසාගේ ඉරණම හඳගම ග්‍රහණය කර ඇත. චිත්‍රපටය ආරම්භයේ යුද්ධයෙන් පසු පුනුරුත්ථාපනය වූ තරුණයා තම ගමට පැමිණෙයි. අප සැවොම පුනුරුත්ථාපනය වූවන් වෙමු. ඒ පුනුරුත්ථාපන කඳවුරක නොව. විස්තීර්ණ සමාජයෙනි. නමුත් එම සමාජ පුනුරුත්ථාපනයෙන් තරුණයා කට්ටි පැනපු නිසාවෙන් රාජ්‍ය යාන්ත්‍රණයකට යටත්ව පුනුරුත්ථාපනය වීමට ඔහුට සිදුවෙයි. නමුත් ගැටළුව නම් ලංකාවේ පුනුරුත්ථාපන රාජ්‍ය යාන්ත්‍රණය තුළ කඳවුරෙන් පිටතට පැමිණි පසු ජීවත්වන්නට කිසිදු ක්‍රමයක් ඔහුට නැත. අඩු තරමේ රියදුරු බලපත්‍රයක්වත් නැත. එයද තම මවගේ කණකර උගස් කර ලබාගත යුතු තැනට තරුණයා පත් වෙයි. පුනුරුත්ථාපනය යනු සමාජයට ‘අහිතකර නොවන‘ මිනිසෙකු බිහි කිරීමද? හැරී බැලූ කළ සැබවින්ම යුද්ධයෙන් පසු පුනුරුත්ථාපන වී ඇත්තේ කරුණා ය. කේපී ය. පිල්ලෙයාන්ය.

ඉනියවන් ස්ත්‍රී චරිත තුනක් අප අතරට ගෙන එයි. ඒ ‘ඔහු’ ගේ මව, බිරිඳ හා මුරකරුවාගේ බිරිඳ යන චරිත තුනයි. ඔහු ගමට පැමිණි පසු අසල්වාසියෙක් පැමිණ තම පුත්‍රයා මිය යාමත් ඔහු ජීවත් වීමත් ගැන සාප කරයි. මේ විලාපයෙන් කම්පනයක් හෝ භිතියක් ඔහුගේ මවට ඇති නොවේ. ඇය හැගීම් විරහිතව ඒ දෙස බලා සිටිනවා පමණි. ඇගේ මනස තුළ ඇයගේ පුත්‍රයා මිය ගොස් තිබුණි. නැවත ලැබීමේ සතුටද පශ්චාත් යුධ සමයේ හා අනාගත ජීවිතයේ අවිනිශ්චිතතාව තුළ ගිලී ගොස්ය. නැතිනම් එම විලාපය තුළ ඇති සාධාරණත්වය ඇයට වැටහෙනවා විය හැක. කරුණු අනෙක් අතට සිදු වූවා නම් විලාප තබන්නේ ඇය වන්නටත් ඉඩ තිබුණි.

dreams

ගැහැණිය විවාහ වන්නේ පවුල් කන්නට නොව. LTTE එකෙන් ගැළවෙන්නටය. තම පියාටත් වඩා වයසින් වැඩි මහල්ලෙකු සමග යහන්ගත වන ‘ඔහු’ ගේ බිරිඳට මධුසමයේ මල් වෙඩි වෙනුවට ලැබෙන්නේ ෂෙල් වෙඩිය. මංගල රැයේදීම ස්වාමියා මියයයි. යුධ බියෙන් ගැළවෙන්නට ඇයට මළ මිනියක පිහිට පතන්නට සිදුවේ. “මගේ ගෑණුකමත් අරන් එයා දිව්‍යලෝකෙ ගියා”.

මා දකිනා ආකාරයට චිත්‍රපටය තුළ සිටින සංකීර්ණතම චරිතය මුරකරුවාගේ බිරිඳයි. යුද්ධයේ බලපෑම්වලින් දෙදරා ගිය හර පද්ධතීන් වලින් යුත් ඇය හා ඔහු අතර ඇතිවන බැඳීම චිත්‍රපටයේ එන දයාබරම මානව සබඳතාවයි. මෙම ස්ත්‍රිය පුරුෂාධිපත්‍ය මුල් කරගත් ස්ත්‍රී – පුරුෂ සමාජභාවීය ආකෘතීන්ට අනුව හැඩ ගැසුණු ස්ත්‍රීන්ට වඩා බෙහෙවින් වෙනස්ය. ඇය හැම අතින්ම නූතනත්වය නියෝජනය කරයි. මිනිසාගේ චින්තනය පදනම් වන්නේ එම පුද්ගලයා මුහුණ දුන් අත්දැකීම් / සිදුවීම් අනුවය. තම සැමියාගේ රැකියාව අහිමි වූ කල ඇය ඊට විසඳුම් සොයන්නේ එය අහිමි කළ මුදලාලි ගෙන් නොව, අළුතින් රැකියාවට පැමිණි ඔහු ගෙනි. ඇයට යම් සිදුවීමක සැබෑ හේතුව දකින්නට නොහැක. නැතිනම් නැතිනම් එය දැකීමෙන් වන සෙතක් නැති නිසා අමතකර හරිනවාද විය හැක.“උගෙ රස්සාව දුන්නෙත් නැති කරෙත් මම. ඇයි ඒක තමුසෙගෙන් ඉල්ලන්නෙ?” ඇය ලත් කුරිරු අත්දැකීම් නිසාවෙන් ජීවිතය හා මරණය අතර ඇය ඇඳගන්නා ඉර අතිශයින්ම සරලය. සිරුර සමග ඇත්තේ ඉතා ලිහිල් බැඳීමකි. දකුණේ ඔබ හෝ මම ජීවත් වෙන්නේ යම් අරමුණුහෝ සිහින ඇතිවය. නමුත් මුරකරුවාගේ බිරිඳයි ජීවත් වන්නේ ජීවත් වීමටය.

“මොකද උනේ?” “මැරුණෙ නෑ…එච්චරයි”

dreams

යුද්ධයෙන් පසු නව දිවිය ඇරඹීමට තැත් කරන ඔහුට පිහිටට එන්නේ යුද්ධයෙන් ඔහුට ලැබුණු හැකියාවන්මය. නව දිවිය අරඹන්නට උත්සාහ කළද අතීතය ඔහුගේ පසුපසින්ම සිටී. නැවත නොගන්නට වලදමා තිබූ තුවක්කුව අතට ගැනීමට ඔහුට සිදුවේ. වලදමා තිබූ අතීත අනන්‍යතාව වලලා තැබීම කළ නොහැක්කකි. ඔහුට අගයක් ලැබෙන්නේ ත්‍රස්තවාදියෙකුව සිටි කාලයේ ලබාගත් හැකියාවන්ගෙන්මය. ගම් වාසීන්ගේ වෛරය නිතැතින්ම ඔහුට එල්ල වේ. නිවසේ සියලු දරුවන් LTTE එකට පිදූ කල ඉතිරිවී සිටිනා අයගෙන් පිළිතුරු සෙවීම අපේක්ෂා කළ යුත්තකි. ඔහුගේ හැසිරීමෙන්ද එය වටහාගෙන ක්‍රියා කරන අයුරු පෙනේ. දරාගත නොහැකි අවස්ථා වලදී පවා වචන කිහිපයකට වඩා ප්‍රචණ්ඩත්වයක් ඔහුගෙන් පිට නොවේ. “ඉස්කෝලෙ යන එක නවත්තල තුවක්කු අතට ගත්තෙ බොලාට රටක් හදන්න…”

චිත්‍රපටය පුරා හඳගම නිරූපණය කරන සිදුවීම් වලින් යුද්ධයේ නග්න ප්‍රචණ්ඩත්වය මෙන්ම මානව සබඳතාවල ස්වභාවයද යථාර්ථවාදීව නිරූපණය කර ඇත. යම් උප සංස්කෘතියක සාරධර්ම, චින්තන රටාව, පැවතුම් ආදිය එම උප සංස්කෘතිය අත්විඳි අත්දැකීම් මත රඳා පවතින අයුරු දෙබස් මෙන්ම චරිත වල හැසිරීමෙන්ද පිළිබිඹු වේ. පැවතුනු සමාජ ක්‍රමයේ කඩා වැටීමත් සමග යළි පිළිසකර වන්නටත් පෙර වාණිජ ප්‍රාග්ධනය බලහත්කාරයෙන්ම කඩා වදී. ඒ බොර දියේ මාළු බෑමටය. එම සමාජ ක්‍රමය කොල්ලකාරීය. යුද්ධයට පෙර පැවති කුල ක්‍රමය ආදිය මගින් ඉගි කරන වැඩවසම් සමාජ ක්‍රමය යුද්ධයෙන් පසු පිම්මක් පැන ඇත. පිටත සමාජය අනුක්‍රමිකව වර්ධනය වූවද උතුරට එය ආගන්තුකය. උගස්කඩ හිමියාගේ ක්‍රියාවලිය කියාපන්නේ එම යාන්ත්‍රණයයි. ඕනෑම සත්වයෙකු ඒ තුළට ඇදගෙන සාරය උරාගෙන හපයක් බවට පත්කර ඉවත දැමිය හැක. එය සැබවින්ම සිදුවූයේදැයි සිහි එලවාගන්නටත් පෙර එය සිදුවී හමාරය.

“අපිට අළුත් ජීවිතයක් නැහැ..පරණ එකම අළුතින් පටන්ගන්නව ඇරෙන්න.“ නව සමාජ ක්‍රමයේ අදහස මෙය නම් එය තවත් ආර්ථික ඝාතනයකට, ආර්ථික ත්‍රස්තවාදයකට වඩා වෙනස් විය හැකිද?

චිත්‍රපටය අවසන් වන තැනින් එය ආරම්භ වේ. අවසානයේ ඔහුට කිසිදු පිළිතුරක් ලැබී නැත. කිසිවක් නිශ්චිත වී නැත. සිදුවී ඇත්තේ අවිනිශ්චිතතාව වැඩි වීම පමණි. ඉනික්බිතිව ඔහු…